මේ ගමන ආරම්භ කරන්නේ සුන්දර ඉදල්ගස්හින්න දුම්‍රිය ස්ථානයෙන්… ගිය සෙනසුරාදා (22-10-2022) උදේ 8ට උඩරට මැණිකේ දුම්‍රියෙන් හැටන් බලා පිටත් වෙලා, හැටන් වලින් බස් එකේ මස්කෙලියට ඇවිත්, දවල්ට කාලා, රෑට කන්න කෑම පාර්සලයකුත් අරන්, එතනින් 2.45 රජමලේ බස් එකෙ රජමලේ දක්වා පිටත් උනා. තේ වතු මැදින්, ලස්සන දිය ඇලි බලාගෙන මීදුමත් එක්ක 4.30 වෙද්දි රාජමලේට එන්න පුලුවන් උනා… දීපාවලී නිසා බස් එකේ සෙනගත් එක්ක, ලස්සන ස්ථාන රාශියක් කැමරාවට මග හැරුනා. රාජමලේට ඇවිත්, කෝවිල ලගින් වමට තියෙන පාරේ කැලේට ඇතුල්වෙන ස්ථානය සොයාගෙන පාර දිගේ ඉස්සරාට යද්දි කලුගල් වලින් සාදපු වට රව්මක් හමුවෙනවා. එතන ඉදන් දකුණු අත පැත්ත බලද්දි, කිසිවක් සදහන් නොකරපු සුදු පාට දැනුවත් කිරීමේ පුවරුවක් දකින්න පුලුවන්… එතන තමයි කැලේට ඇතුළුවෙන තැන.
4.50ට විතර කැලේට ඇතුලු වෙලා, තුරු ලතා මැද්දෙන්, වතුරු පාරවල් හරහා හැටන් පාර හමුවෙන ස්ථානයට කලුවර වීමට පෙර ලගා වීමේ බලාපොරොත්තුවෙන් ගියත්, සදගලතැන්නට කිට්ටු වෙද්දි කලුවර වැටුනා.. ඔය අතර තප්පර ගානකට සිරිපා මලුව පෙනුනා….. නිකමට හිතලා බලන්න, තනියම සද්ද බද්දත් එක්ක හෙඩ් ටෝච් එකත් ගහගෙන කැලේ මැද්දෙන් කලුවරේ, මීදුමත් එක්ක ඉස්සරාට යද්දි, ටෝච් එලියට, ඈතීන් බිම් පදුරුවල රැදිලා තියෙන වතුර බිංදු, සතුන්ගේ ඇස් වගේ දිලිසෙන කොට කොහොම ද?
සදගලතැන්නත් පසු කරගෙන ඉස්සරාට යද්දි අඩි පහ හයක්වත් දුර පෙන්නැති මීදුමක් ආවා… ඔය අතර දකුණු අත පැත්තෙන් වරින් වර නල්ලතන්නිය ටව්මේ ලයිට් පේන්න ගැනීමත් එක්ක හැටං පාරට ලං වෙලා කියන මග සලකුණු හමු වුනා. 7.00 වගේ වෙද්දි හැටං පාරට ඇවිත්, රාත්‍රිය ගත කරන්න ඉදිකටුපාන අම්බලමට යන්න පහලට බැස්සත්, මගදිී ඉහලට කරුනා කරන දෙදෙනෙක් හමු වෙලා, ඒ අයගෙන් අම්බලම පිරිලා ඉඩ නැති බව දැන ගෙන මාත් ඉහළට කරුණා කරන්න පටන් ගත්තා. වාසනාවකට වගේ හැටන් පාරේ අන්තිම කඩේ ඉස්සරහා, පූජා බඩු විකුණන කඩේ, කැලේට වැහුන කොටසේ නිදාගන්න හදපු තට්ටුව දැකලා, ඒකේ ටෙන්ට් එක ගහගෙන රෑට කාලා හොදට නිදා ගත්තා. මෙතන හොදටම බැලුවොත් මිසක් පාරේ යන අයටවත් පේන් නෑ…
පාන්දර 4.30ට විතර විදේශිකයන්ගේ කතා බහ කරන හඩකින් ඇහැරිලා, ලෑස්ති වෙලා, මාත් උඩ මලුව බලා කරුණා කරන්න ගත්තා. 5.30 විතර වෙද්දි මාත් උඩ මලුවේ… වන්දනා කරලා, ඉර සේවයත් බලලා, හතට විතර හැටන් පාරෙන්ම පහලට ඇවිත් ශෝට් කට් එකෙන් රත්නපුර පාරට ඇවිත් රජ මාවතෙන් පහලට කරුණා කරන්න ගත්තා. දවල් 1.30 වෙද්දි පලාබද්දල පන්සලට ඇවිත් එතනින් බස් එකේ රත්නපුර, පානදුර, කලුතරට ඇවිත් ගමන අවසන් කරා.
පරිසරයට ආදරය කරන කෙනෙක්නම් ඕන පාරකින් ඉහලට කරුනාකරලා, සදගලතැන්න පාරේන් වෙලා තියාගෙන මරේ දක්වා පහලට කරුනා කරන්න. තේ වතු මැද්දෙන්, මීදුමත් එක්ක, දිය ඇලි බලාගෙන පහලට බසින එක, වෙනම අත්දැකීමක් වෙයි.






















































සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව